Thursday, July 21, 2016

සසල ඇසල

ඇසල අහසේ සසලව
මතක අඳුරක් සැරිසරයි
සස ලපය ලෙස බරැති කඳුළක
කැළල සඳ වත මත දිළෙයි

ස්වරය වරදක් වූ‍ නිසාව‍ෙන 
පියාපත් සිඳ ඝාතනය කළ 
කුරුල්ලකුගේ මෘත දේහය
තවම මාවත අස තිබෙයි

මිතුරු බිතු සිතුවම් මත
වසුරු ගා  වනසා දැමූ 
නීච අත් රහසේම
මතකයන් වමාරා කයි

පුස්තක ස‍ොහොනක
පණ පිටින් අකුරු ද‍ැවෙනා
රුදුරු රූපය
නෙත් ඉදිරිපිට මැවෙයි
මිනිස් ප්‍රඥාලෝකයන්
කළු ඇසල කුහරයක සැඟව යෙයි

සිර කරන්නට නොහැකි කවියක
යප‍ොලු පිටුපස රැඳුනු සිතිවිලි
නිරන්තරවම නඟන නාදය
සුළඟ තුළ දැවටී හමයි

ඒ සුළං වැද සලිත
නාඳුනන මලක පෙති මත
රුහිරු බිඳුවක් 
තවම දිදුළනු පෙනෙයි


  •  ප්‍රභාත් චින්තක මීගොඩගේ

6 comments:

  1. ලං වෙලා බැලුවම ගොඩක් තැන් වල ඉතුරු උනු ලේ පැල්ලම් පේන්න තියනවා.. අපූරු නිර්මාණයක් ප්‍රභාත්...

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ඉතිහාසයට ලේ පැල්ලම්වලින් නම් අඩුවක් නැහැ. නිර්මාණය ගැන අදහසට ස්තූතියි.

      Delete
  2. සිංහල අකුරුවල හපන්කම්. අගෙයි ප්‍රභාත්. මට ඉගෙනගන්න සෑහෙන දෙයක් තියෙනවා කියලා හිතුනා මේක බැලුවම.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද, ජර්මානු කවියකු වන රයිනර් මරියා රිල්ක විසින් ලියන ලද කෘකියක් 'කිවිඳ හදට එබී බලන්' නමින් මාලිනී ගෝවින්නගේ විසින් සිංහලට පරිවර්තනය කර තිබෙනවා. එය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රයේ ප්‍රකාශනයක්. ඒ පොත අරගෙන කියවන්න. කවීන්ට අත්පොතක් වගෙ කෘතියක්.අනෙක‍් කාරණය තමයි, පුළුවන්තරම් කියවන්න. හැබැයි අඩුවෙන් ලියන්න.

      Delete
  3. ඔබේ නිර්මාණයේ නිමිත්ත නම් බොහොම අගෙයි...

    මගෙ පුද්ගලික අදහස නම් හැම තැනටම හරබර යෙදුම් පමණක්ම යෙදිය යුතුයි කියල නියමයක් නැහැ...කෙනෙකුට හිතට දැනෙන්න පාවිච්චි කරන්න ඕනේ සරල, ගැඹුරු යෙදුම්...

    ඔබේ නිර්මාණය ඇතුලේ තවම කථාවක ලකුණු වැඩියි...මේකට පුළුවන් තරම් කවිකම ඔබ්බවන්න බලන්න...මෙහෙම ලිව්වේ ඔබට හොඳ නිර්මාණාත්මක හැකියාවක් තියනවා කියල දැනුන නිසා...

    මේ බ්ලොගය, අනිකුත් සින්ඩි වල එල්ලන්න, දැනට එහෙම කරළ නැතිනම්...මාතලන්ගේ සින්ඩිය, අටම්පහිය, කුරුටු ගෑ ගී පවුර, වගේ...

    ReplyDelete
  4. පොකුරු වැහි, ඔබගේ අදහස්වලට හා අැගයීමට බොහොමත්ම ස්තූතියි. ඉදිරි නිර්මාණවලදී ඔබගේ අදහස් පිළිබඳව සැලකිලිමත් වෙන්නම්.

    ReplyDelete