Tuesday, August 30, 2016

කුළී ගස්

නිමිත්ත : කාර්යාල පරිශ්‍රයේ තැබීම පිණිස 
පෝච්චිවල සිටුවූ ගස් රැගෙන එයි. 
එතෙක් තිබූ ගස් අාපසු රැගෙන යයි.


නැත හිමිව මුල් අදින භූමියක්
දලු දා උස යන්න නොමැත නිල් අහසක්
සුව පිණිස තැබු ඔබේ රාජකාරී අැස්
ලිපිනයක් නැති අපි වෙමු කුළී ගස්

නොලැබ හිරු එළියක උණුහුමක්
නොවිඳ වැහි බිඳුවක සිහිලක්
බිතු පවුරු අතර සිරවී නිතින්
කල් ගෙවන මෙහෙකාර කුළී ගස්

රාජකාරියට පේ වුණු ඔබට මෙන්
ප්‍රදර්ශන කාරියට පේ වුණු අපටත්
කොහිද ලතාවක මුදු පහසක්
බඳ වටා එතෙන - නැළවෙන පෙමින්

නොදැක අපගේ හරිත පත්
පියාඹන වීදුරු කවුළුවට පිටතින්
දෙස බලා හිඳ සමනළ ලියන්
ඔක්සිජන් සුසුම් ලන පවුකාර කුළී ගස්

    2 comments:

    1. අපූරුයි සහෝ. නිතර අප අතර තියෙන එහෙත් අපේ අවධානයක් නොලැබෙන දෙයක් පිළිබඳව ලියැවුණු අපූරු කවි පෙලක්.

      ජයවේවා!!!

      ReplyDelete