Thursday, December 6, 2018

අහඹු හමුවක්


Image result for Alone Man

දැන් එතැන මං නෑ සහෝ...
 හිටියෙ අතනත් ටික දවසයි
දේශපාලනේ දැන් නම් තිත්තයි !

ඇඩ්වටයිසින් ඒජන්සියක
කුරුටු ගානවා කොපි
ප්‍රාග්ධනයේ මාත්‍රාවට...
ගොඩදාගන්නේ එහෙමයි,
මේ ජීවිත මොහොත!

ඇරියස් කවර් වෙලා වගේ,
කෙල්ලොම තුන් දෙනෙක් අපට
හරි බරයි ජීවිතේ දැන් !

පෝස්ටර් දැක්කාම තාමත්
මතක් වෙනවා අතීතය
නොදැක්කා වගේ එතකොට
යනවා අහක බලාගෙන !

ප්‍රදර්ශනේ නොහිටපු
දන්න කියන පරණ සහෝදරවරු
දකිනවා ඉඳ හිට මඟ තොටක..
වැඩි දෙනෙක් දැන් තැන් තැන්වල

සමහරුන් දැක්කත් යන්නේ
නොදන්නා ගානට..
කෙනෙක් දෙන්නෙක් නම්,
කතා කරනවා තාමත් මූණ බලාගෙන !

අනාගතයක් නැතත්,
ඉතිහාසයක් තිබුණු වග දැනිලා
හුස්ම වැටෙන්ඩ ගන්නවා ආයෙත්
පරණ පුරුදු විදියට ...!


Monday, November 19, 2018

සිහබා අභිමුව...




















නිමිත්ත - විසි වසරකට පසු යළි ‘සිංහබාහු‘ නරඹා..


විසි වසකට පෙර නාඹර වයසක

රඟහල කෙළවර හුදෙකලාව හිඳ

‘සිහබා‘ එපුවත නැරඹූ දිනයෙක

සිය පුතු වෙනුවෙන් පියකුගෙ හදවත

සැලෙනා රිද්මය නොම වැටහුණි මට !



‘සිහබා‘ විලසින් ලෙන් දොර බිඳහැර

හිතුවක්කාරව ලොව දකිනා සඳ

පියෙකුගෙ ඔවදන් ඇසෙනා සවනක්

නොතිබිණ මා හට, යට ගිය එදවස !



විසි වසකට පසු ගුහාගතව හිඳ

පියඹ, දියණි හා පුතණුද සමගින

‘සිහ පවුලක්‘ ලෙද රඟහල කෙළවර

‘සිහබා‘ එපුවත නරඹන මෙදවස

සිය පුතු වෙනුවෙන් පියකුගෙ හදවත

සැලෙනා රිද්මය මා හද හඬවත !



‘සිහබා‘ විලසින් මා පුතු මතු දින

බිඳ දා ලෙන් දොර - යනු ඇත ලොව වෙත

යට ගිය එදවස - ම‘පියා සිටි ලෙස

මා ද සිටිනු ඇත - මතු දින එවිලස !


(කොළඹ, ආනන්ද විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද ‘අනඳ පැහැසරණිය - 2018‘ සමස්ත ලංකා සාහිත්‍ය නිර්මාණ තරගාවලියේ විවෘත අංශයේ පද්‍ය රචනා තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනාගත්තේ මගේ මෙම පද්‍ය නිර්මාණයයි.)

Friday, December 15, 2017

ඉපැරණි උදෑසනකට ඇමතුමක්




ඉර ඉතිං ඩිංගකට නවතින්න
අතීතෙට ඇවිද යන්නට එන්න
කාලයේ ගිලී ගිය මතක අමුනන්න
ඉර ඩිංගකට නවතින්න

දොළ දියේ කදුරු මල් එක්ක පීනන්න
තණ පලස මත පිපුණු පිණි බිංදු අහුලන්න
විහඟ ගීයක් දිගේ පියඹා යන්න
ඉර ඉතිං ඩිංගකට නවතින්න

උදා ගීයක මිහිර සර විඳගන්න
කතා කරනා බසය එන තුරු ඉන්න
ඉර ඉතිං ඩිංගකට නවතින්න
අතීතෙට ඇවිද යන්නට එන්න

Thursday, December 29, 2016

සමුගැනීම

 
මතු යම් දිනෙක 
යළි මෙහි මුණ ගැසෙන තුරූ

'ඉතිං අායුබෝවන්'
බ්ලොග්වරුනි ගරූ !

Monday, December 19, 2016

පිටකොටුවේ බෝ ගස (නො)කී කවිය

 







දිවා රෑ කාබන්ඩයොක්සයිඩ් දානය
පුද පුදා අැදෙන රථ පෙරහැර
ප්‍රභාසංස්ලේෂණයත් දැන් මා හට
මහා වධයක් විලසය

වෙඩි හඬින් පිරවුණු
බෝම්බ හඬින් පිපිරුණු
රිය-වෙළෙඳ හඬ කැලතුණු සවනත
කම්මලේ බලු කන් මෙන

කඳුළු වායුව වැදී
දෙනෙත් කඳුළින් ඉතිරුණු
දින ගණන කොතෙක්දැයි
කියන්නට මතක නැත

අැසල කළු දුම සමග හමා අා
ජාතිවාදී මිනී කුණු ගන්ධයෙන
ශ්වාසනාලය අවහිරව
මැරි මැරී උපනෙමි

වරින් වර මා අබියස
මිනිස් පංචස්කන්ධ සුණු විසුණුව
රුධිර බිඳු මා වෙතට විසි විණ
කම්පිතව ගියෙන මා ගත
මොහොතකට නැවතිණ හදවත

සිලි සිලි හඬින් නිරතුරු සැලෙන
ළදලු පත් හිස පුරා ගවසාගෙන
නිශ්චලව භාවනාවක ලෙසින
හිඳින්නට වරම් අහිමිය

බෝ අතු පුරා එල්ලීගෙන
බණ කියන මා වවුලන් නැත
තමන්ටම කියා ගාථාවක් අැති
බෝධියක් වීමට පින් නැත

මහේශාඛ්‍ය බෝධීන්ගෙන් දුරස්ව
ඉතිහාසයේ සාක්ෂ්‍යකරු විලස වැඩ හිඳින
එලොව නොව මෙලොවටම වැඩ පිණිස දුක් විඳින
කොටුවෙන් පිටත බෝ ගස වෙමිය...!

Monday, December 12, 2016

වාමනයා සහ සිඟන්නිය








බලාගෙන හුන්නෙමි
අැසිපිය නොහෙළාම
ස්ත්‍රියක් මා තුරුළට එන 
දවසක් ගැන 
දෑඟිලි ගැන ගැන

ඒත් අපි ඉතිං
අැස් මට්ටමට හසු නොවන
මානයක වෙසෙමින
සියලු බර දරාගෙන 
දහඩිය කඳුළු වගුරන
ගොරහැඩි වාමනයෝ වම්හ

ඒත් එක දවසක 
නුඹ අැවිත් මා අසල හිඳ 
මා ගතට තුරුළුව
සිඟමන් යදින සඳ...

මා ගත දැවටෙන
නුඹේ දුර්වර්ණ කඩමලු
මට සොඳුරු පහසකිය...

නුඹ වෙතින් හමා එන්නේ 
හැමදාම දැනුණු මල් සුවඳ පරදන
ජීවිතේ මට දැනුණු 
ඉමිහිරිම සුවඳය...

එදා සිට ඉසිලූ
මේ තුඟු පවුරුවල බර 
දැන් බරක් නොවේ මට...

නුඹගේ ගත පහස
දැනේ ඊට වඩා බරට 
ම සිතට !

Friday, December 9, 2016

කඳුළක සුවඳ

සිඳුණු අත්තටු අත ගගා
කූඩුවේ හිඳ වැළපෙනා 
සිහිනයක නැඟ ඉගිල්ලී විත්
මගේ හද තුළ නිවසනා
මගේ සුමිතුරු කිරිල්ලී

කඳුළු බිඳුවක් වාරුවට රැගෙනා
නේක සුසුමන් දරාගෙන පැමිණා
මගේ හිත මත වසාගෙන නුඹ
නුඹේ හද දොර පියන්පත් හරිනා

තැවුල් ගිනි නිති නුඹේ සිත දවනා
නිහඬවම මා නිවාලන බැවිනා
මටම පමණක් කියන කවියක
නුඹේ කඳුළේ සුවඳ මට දැනෙනා