Saturday, March 30, 2019

අවසන් පැවරුම












 
නිමිත්ත - දශක තුනකට ආසන්න කාලයක් රැක ගත්,  
අපේ රටේ එක් පරපුරක කටහඬ වූ  ‘ලක්දිව හා ‘හිරු පුවත්පත් එකතුව පැරණි මිතුරකුට ලබා දුනිමි.


හතලිස් ඇඳිරියෙන් ආතුර දෙඇස
සාංකාවෙන් බරිතයි, සැබැයි
පුවත්පත් රැස නුඹට පවරමි
මතක පමණක් මා සතුයි

හෙමින් පෙරළා බලන් මේ පිටු
සටන් බිම්වල හඬ ඇසෙයි
කාට අමතක වුනත් මේ පිටු
අරගලයෙ ඉතිහාසයයි

බලාපන් මේ කවි පිටුව මත
තවම නොනිවුන උණුහුමයි
නොමළ මලකින් උපන් කඳුළක්
කවියකට මුවහත තියයි

නුඹත් ලියු කවි ඔතැන ඔය ඇත
අරගලය වෙත අඬගසයි
එකම අත්තක වැසූ විහඟුන්
නඟන නාදය යළි ඇසෙයි

සංහාරයෙන් පසු ශේෂ වුන
පියාපත් යළි සොයා ඇවිදින
පරපුරක පියවර ළකුණු මඟ
නැවත නුඹ හට මුණගැසෙයි

හද සලිත මනෝ විදු ගුණ රැඳුන
සන්නිවේදන ළකුණු පෙළ ගැසුන
පරපුරක ලේ වැකුණු මේ අකුරු
නැණ සැතින් විමසීම නුඹ සතුයි

ඔය අකුරු නාඳුනන අලුත් පෙරහැරට
වල දමා - හැර දමා යනු මිසක
උගනින්න ඉතිහාස පාඩමක්
මේ මහලු පිටු අතර නෑ තමයි

එහෙත් සොහොයුර බලන්,
දුර්වර්ණ - මේ මහලු කඩදාසි
කාලයේ සැඟව ගිය, පරපුරක
පණ ගැහුණු එකම කටහඬයි !

No comments:

Post a Comment