Monday, December 19, 2016

පිටකොටුවේ බෝ ගස (නො)කී කවිය

 







දිවා රෑ කාබන්ඩයොක්සයිඩ් දානය
පුද පුදා අැදෙන රථ පෙරහැර
ප්‍රභාසංස්ලේෂණයත් දැන් මා හට
මහා වධයක් විලසය

වෙඩි හඬින් පිරවුණු
බෝම්බ හඬින් පිපිරුණු
රිය-වෙළෙඳ හඬ කැලතුණු සවනත
කම්මලේ බලු කන් මෙන

කඳුළු වායුව වැදී
දෙනෙත් කඳුළින් ඉතිරුණු
දින ගණන කොතෙක්දැයි
කියන්නට මතක නැත

අැසල කළු දුම සමග හමා අා
ජාතිවාදී මිනී කුණු ගන්ධයෙන
ශ්වාසනාලය අවහිරව
මැරි මැරී උපනෙමි

වරින් වර මා අබියස
මිනිස් පංචස්කන්ධ සුණු විසුණුව
රුධිර බිඳු මා වෙතට විසි විණ
කම්පිතව ගියෙන මා ගත
මොහොතකට නැවතිණ හදවත

සිලි සිලි හඬින් නිරතුරු සැලෙන
ළදලු පත් හිස පුරා ගවසාගෙන
නිශ්චලව භාවනාවක ලෙසින
හිඳින්නට වරම් අහිමිය

බෝ අතු පුරා එල්ලීගෙන
බණ කියන මා වවුලන් නැත
තමන්ටම කියා ගාථාවක් අැති
බෝධියක් වීමට පින් නැත

මහේශාඛ්‍ය බෝධීන්ගෙන් දුරස්ව
ඉතිහාසයේ සාක්ෂ්‍යකරු විලස වැඩ හිඳින
එලොව නොව මෙලොවටම වැඩ පිණිස දුක් විඳින
කොටුවෙන් පිටත බෝ ගස වෙමිය...!

3 comments:

  1. හොඳ නිරමාණයක් ප්‍රභාත්. අද උදේ මේක කියවද්දි කොළඹ බස් එකේ මම හිටියෙ. බෝ ගහ ළඟින් යද්දි මට මේ නිර්මාණය මතක් වුණා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. නියමයි ප්‍රභාත්. කාටත් අමතක වෙච්ච බෝ ගහක්.

    ReplyDelete
  3. අදහස හොදයි.. පොඩ්ඩක් අමු වැඩියි වගේ

    ReplyDelete